නිතර අසන පැන.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යනු කුමක් ද?

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යනු ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ සංවර්ධනය, අධීක්ෂණය සහ නියාමනය සඳහා 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත මගින් ස්ථාපනය කරන ලද රක්ෂණ කර්මාන්තයේ නියාමකයා වේ. කොමිෂන් සභාවේ අරමුණ හා වගකීම වන්නේ ශ්‍රී ලංකාව තුළ රක්ෂණ ව්‍යාපාරය අවංකව, වෘත්තීමය වශයෙන් හා විචක්ෂණශීලීභායෙන් පවත්වාගෙන යාම තුළින් ඔප්පු හිමියන්ගේ සහ අනාගත රක්ෂණ ඔප්පු හිමියන්ගේ අභිරුචීන් ආරක්ෂා කිරීම තහවුරු කිරීමයි.

පනත සහ සංශෝධන බැලීම සඳහා කරුණාකර පහත සබැඳුම වෙත පිවිසෙන්න ‍

https://ircsl.gov.lk/quick-links/insurance-legislation/regulation-of-insurance-

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතට ගැනෙන්නේ කවුරුන්ද?

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම රක්‍ෂණකරුවන්, රක්‍ෂණ තැරැව්කරුවන් සහ අලාභ ගැලපුම්කරුවන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි නියාමන විෂය පථයට අයත් වේ. කෙසේ වුවද, පහත ආයතන ඊට ඇතුළත් නොවේ:

1. කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය

2. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

3. සමාජ ආරක්ෂණ මණ්ඩලය

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් කවරේද?
  • රක්ෂණකරුවන් වශයෙන් තැනැත්තන් ලියාපදංචි කිරීම
  • රක්ෂණ තැරැව්කරුවන් වශයෙන් තැනැත්තන් ලියාපදංචි කිරීම
  • අලාභ ගැලපුම්කරුවන් වශයෙන් තැනැත්තන් ලියාපදංචි කිරීම
  • රක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම හා විධිමත් කිරීම සම්බන්ධයෙන් රජය වෙත උපදෙස් ලබා දීම
  • රක්ෂණ කර්මාන්තය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම;
  • ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකු සමග තොරතුරු හුවමාරු කර ගැනීමට අදාළව කිසියම් ද්විපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට ඇතුල් වීම
  • කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම, කාර්ය ඉටු කිරීම හා කර්තව්‍ය කිරීමේ කාර්ය සඳහා අවශ්‍ය යම් නිලධරයන් හා සේවකයන් සේවයෙහි නියුක්ත කිරීම
  • නිශ්චල ‍හෝ චංචල දේපළ කිසිවක් අත්කර ගැනීම හා දැරීම, ඒ දේපළ විකිණීම, බද්දට දීම, උකස් කිරීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම
  • කොමිසමේ බලතල ක්‍රියාත්මක කිරීම, කාර්ය ඉටු කිරීම හා කර්තව්‍ය ඉටු කිරීම සඳහා අවශ්‍ය යම් ගිවිසුවලට ඇතුළත් වීම
  • පනත යටතේ යථා පරිදි කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම, කාර්ය ඉටු කිරීම සඳහා අවශ්‍ය වෙනත් සියළු කාර්යයන් ඉටු කිරීම.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් රක්ෂණ ඔප්පු හිමියන්/ මහජනතාව වෙත පිරිනමන සේවාවන් කවරේද?
  • රක්ෂණ වන්දි ආරවුල් විසඳීම – ඕනෑම පීඩාවට පත් හිමිකම්පාන්නෙකු විසින් යොමු කළ රක්ෂණ හිමිකම් පෑම් පිළිබඳ ආරවුල් විසඳීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මැදිහත් වේ.
    (https://ircsl.gov.lk/policyholder-complaints-form.html) හරහා මාර්ගගතව ද (info@ircsl.gov.lk) භාවිතයෙන් ඊමේල් හරහා ද ෆැක්ස් හෝ තැපැල් මගින් ද ආරවුල් යොමු කළ හැකිය.
  • රක්ෂණ කර්මාන්තයට අදාළ තොරතුරු ලබා දීම – ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදන පහත සබැඳුමට පිවිසීමෙන් බැලීය හැක:https://ircsl.gov.lk/publications/press-releases.html
  • දැනුවත් කිරීම-
  • රක්ෂණය සම්බන්ධ කරුණු පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අප දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන්නෙමු. මීට අමතරව, ඉල්ලීම පරිදි පාසල්, විශ්වවිද්‍යාල සහ රාජ්‍ය/ පුද්ගලික ආයතනවල ද අපි වැඩසටහන් පවත්වන්නෙමු.
  • මුද්‍රිත ලිපි ලේඛන – මෙම සබැඳුමට පිවිසීමෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ දැනුවත් කිරීමේ අත් පත්‍රකා සහ ප්‍රකාශන බැලීමට/ බාගත කිරීමට හැකිය.https://ircsl.gov.lk/publications/publications-available-free-of-charge.html
  • රූපවාහිනී වැඩසටහන් – මෙම සබැඳුමට පිවිසීමෙන් වීඩියෝ බැලීමට හැකිය https://www.youtube.com/channel/UCBpYWbTGwJ1CyMNmPxtKZcA/videos
  • ගුවන් විදුලි වැඩසටහන් – මෙම සබැඳුමට පිවිසීමෙන් ඕඩියෝවලට සවන් දීමට හැකිය https://www.youtube.com/channel/UCBpYWbTGwJ1CyMNmPxtKZcA/videos
අපගේ ඇමතුම් තොරතුරු:

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

11 වන මහල,

නැගෙනහිර කුළුන

කොළඹ 01

දුරකථන: 011/ 2396184- 9

ෆැක්ස්: 011 2396190

ඊමේල්: info@ircsl.gov.lk

වෙබ් අඩවිය : www.ircsl.gov.lk

රක්ෂණ කර්මාන්තය

රක්ෂණකරුවෙකු යනු කවුරුන්ද?

පනත යටතේ ශ්‍රී ලංකාව තුළ රක්ෂණ ව්‍යාපාරය පවත්වාගෙන යාමට ලියාපදිංචි වූ සමාගමකි.

ශ්‍රී ලංකාව තුළ රක්ෂණකරුවන් කොපමණ සිටින්නේ ද?

2023 දෙසැම්බර් 31 දිනට, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති රක්ෂණකරුවන් විසි අටකි (28). ඔවුන් අතරින් දෙදෙනෙකු (02) දිගුකාලීන රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය ව්‍යාපාර කටයුතු සිදු කරන සංයුක්ත සමාගම් වන අතර දාහතර දෙනෙකු (14) දිගුකාලීන රක්ෂණ ව්‍යාපාරයෙහි ද දොළොස් දෙනෙකු (12) සාමාන්‍ය රක්ෂණ ව්‍යාපරයෙහි ද නියැළී සිටිති.
මේ වන විට ලියාපදිංචි වූ රක්ෂණකරුවන් බැලීම සඳහා කරුණාකර පහත සබැඳුම වෙත පිවිසෙන්න –

https://ircsl.gov.lk/insurance-companies/

දිගුකාලීන රක්ෂණය ව්‍යපාරය යනු කුමක් ද?

දිර්ඝකාලීන රක්ෂණය යනු “මරණය හෝ මනුෂ්‍ය ජීවිතයකට බලපාන යම් අවිනිශ්චිත සිද්ධියක් සිදුවු විට මුදල් ගෙවීම සහතික කෙරෙන ගිවිසුම් ද ඇතුළුව මනුෂ්‍ය ජීවිතය මත රඳා සිටිමින් යම් කාලපරිච්ජේදයක් සඳහා වාරික ගෙවීමට යටත් ගිවිසුම්වලට එළඹීමේ හෝ එවැනි ගිවිසුම් පවත්වාගෙන යාම වේ. එවැනි ගිවිසුම්වලට පහත උප-පන්ති ඇතුළත් වේ:

ජීවිත රක්ෂණය
සම්බන්ධිත දිර්ඝකාලීන
වාර්ෂික
අබලතා සහ බහුවිධ හානි පූර්ණය සඳහාද, හදිසි අනතුරු සහ රෝග භාවය සම්බන්ධයෙන් ප්‍රතිලාභ ලබා දීම සඳහා වන ඔප්පු
නිත්‍ය සෞඛ්‍ය
ප්‍රාග්ධනය නිදහස් කිරීමේ ගිවිසුම
විශ්‍රාම රක්ෂණ ඔප්පු

සාමාන්‍ය රක්ෂණ ව්‍යපාරය යනු කුමක් ද?

“දිගුකාලීන රක්ෂණ ව්‍යාපාරය” යන්නෙහි නිර්වචනය යටතට නොගැනෙන සියළු ම රක්ෂන ව්‍යාපාර ‌මෙයට ඇතුළත් වන අතර පහත උප පන්තිවලින් සමන්විත වේ: ‍

  • සමුද්‍ර, ගුවන් හෝ සංචාරක රක්ෂණ ඔප්පු
  • ගිනි රක්ෂණ ව්‍යපාර
  • මෝටර් රථ රක්ෂණ ව්‍යාපාර
  • සෞඛ්‍ය රක්ෂණ ව්‍යාපාරය
  • සේවා යෝජක වගකීම් රක්ෂණ ව්‍යාපාරය
  • විවිධ රක්ෂණ ව්‍යාපාර
රක්ෂණ තැරැව්කරුවකු යනු කවුරුන් ද?

රක්ෂණ තැරැව්කරුවකු යනු රක්ෂණ තැරැව්කාර ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත සහ 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතෙහි විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද තැරැව් ගාස්තු හෝ කොමිස් මුදලක් මගින් ගෙවීමක් අපේක්ෂාවෙන් රක්ෂණකරුවකු හෝ ප්‍රතිරක්ෂණකරුවකු සමඟ රක්ෂණකරුවකු, රක්ෂණ ඔප්පු දරන්නකු හෝ රක්ෂණය කිරීම හෝ ප්‍රතිරක්ෂණය කිරීම සඳහා වූ යෝජකයකු සඳහා හා වෙනුවෙන් රක්ෂණ ව්‍යාපාරය කර ගෙන යාම පිණිස අතරමැදියකු වශයෙන් කටයුතු කරනු ලබන්නෙකු වේ.

මේ වන විට ලියාපදිංචි වූ රක්ෂණ තැරැව්කරුවන් බැලීම සඳහා කරුණාකර පහත සබැඳුම වෙත පිවිසෙන්න –
https://ircsl.gov.lk/insurance-brokers.html

අලාභ ගැලපුම්කරුවකු යනු කවුරුන්ද?

රක්ෂණ හිමිකම් පෑමක දී උද්ගත වන අලාභ විමර්ශනය කිරීමේ සහ තක්සේරු කිරීමේ විශේෂිත දැනුමක් ඇති සහ පනතේ විධිවිධාන යටතේ අලාභ ගැලපුම්කරුවකු ලෙස ලියාපදිංචි වී ඇති තැනැත්තකු වේ.

මේ වන විට ලියාපදිංචි වූ අලාභ ගැලපුම්කරුවන් බැලීම සඳහා කරුණාකර පහත සබැඳුම වෙත පිවිසෙන්න –
https://ircsl.gov.lk/quick-links/instructions-and-guidelines/licensing-guide/loss-adjusters/

රක්ෂණ ඔප්පු හිමියෙකු යනු කවුරුන්ද?

රක්ෂණකරු සමඟ ගිවිසුම අත් කර ගැනීම අරභයා තත් කාලයෙහි රක්ෂණ ඔප්පුවෙහි නීත්‍යනුකූල දරන තැනැත්තකු රක්ෂණ ඔප්පුහිමියෙකු ලෙස හැඳින් වේ.

රක්ෂණ ඔප්පු හිමියෙකුගේ හිමිකම් සහ යුතුකම් මොනවාද?

හිමිකම්

  • දැනුවත් වීමට
  • ඔබ ගෙවන මුදල සඳහා ප්‍රතිලාභ ලබා ගැනීමට
  • සද්භාවයෙන් සැලකුම් ලැබීමට
  • සහන ලබා ගැනීමට

 
යුතුකම්

  • සද්භාවයෙන් ක්‍රියා කිරීමට
  • නිසි වේලාවට වාරික ගෙවීමට සහ රක්ෂණ ඔප්පුව පවත්වාගෙන යාමට
  • රක්ෂණ ඔප්පුව අවබෝධ කර ගැනීමට
  • හිමිකමක් ලබා ගැනීමේ දී සහයෝගය දැක්වීමට

 
රක්ෂණ ඔප්පු හිමියන්ගේ හිමිකම් සහ යුතුකම් පිළිබඳ විස්තර බැලීම සඳහා කරුණාකර මෙම සබැඳුම වෙත පිවිසෙන්න-

https://ircsl-test.lankapanel.net/wp-content/uploads/2019/01/Know_your_rights_and_duties_English.pdf

ප්‍රතිලාභියෙකු යනු කවුරුන්ද?

රක්ෂිතයා මිය ගිය විට රක්ෂණ ඔප්පුවෙන් ලැබෙන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා රක්ෂණ ඔප්පු හිමියා විසින් ජීවිත රක්ෂණ ඔප්පුවක ප්‍රකාශ/නම්කර කර ඇති පුද්ගලයෙකු (හෝ පුද්ගලයින්)

හිමිකම් පාන්නෙකු යනු කවුරුන් ද?

රක්ෂණ ඔප්පුවක් යටතේ යම්කිසි පාඩුවක් පියවා ගැනීමට අදාළ රක්ෂණකරුවා වෙතින් ගෙවීමක් සඳහා හිමිකම් පෑමක් ගොණු කරන හෝ විධිමත් ඉල්ලීමක් සිදු කරන පුද්ගලයෙකි. හිමිකම් පාන්නා රක්ෂණ ඔප්පු හිමියෙකු, ප්‍රතිලාභියෙකු හෝ ඕනෑම තුන්වන පාර්ශවයක් විය හැකිය.

ශ්‍රී ලංකා රක්ෂණ කර්මාන්තය පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ නවතම වාර්ෂික වාර්තාවේ ඉදිරිපත් කර ඇති තොරතුරු පහත සබැඳුමට පිවිසීමෙන් බැලිය හැක.

https://ircsl.gov.lk/quick-links/publications/annual-reports/